Pages

2009-11-22

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ



වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව


හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය, හන්තාන ලිනක්ස් ගූගල් සමූහය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.


හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම ව‍සරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය.


2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.


අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි.

මීට අමතරව ගාල්ල මධ්‍ය මහා විද්‍යාලයීය (ඕල් සෙන්ට්ස් විද්‍යාලය) තොරතුරු තාක්‍ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්‍ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි.

බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය.

6 අදහස්:

  1. ලංකේය ලිනක්ස් පෙරළියට සුභම සුබ පැතුම්!

    ReplyDelete
  2. අපේම කියල ලිනක්ස් පද්ධතියක් කියන්නෙ ඉස්සර නම් හීනයක් වගේ. දැන් ඒක හැබෑ වෙලා. මේ ව්‍යාපෘතියට මූලික වුණු කණ්ඩායමට සුබ පැතුම්!
    ජනප්‍රිය කරන්න තියෙන හොඳම ක්‍රමට මේ වගේ පාසල්වලට හඳුන්වල දෙන එක තමයි.

    ReplyDelete
  3. @~බිன்ku~
    ස්තුතියි

    @තමීර
    ඔයාලටත් සහයෝගය දක්වන්න පුලුවන්

    @මනුශාන්
    :D

    @All
    "හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!"

    ReplyDelete
  4. "හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!"

    කොහොමද හන්තානටත් බැජ් එකක් හැදුවොත්? ටෙක් කතා/ සිංහල ෆයර්ෆොක්ස් වලට කළා වගේ. බැජ් එකෙන් ජනප්‍රියතාවෙ සෑහෙන ඉදිරි පිම්මක් පනින්න පුළුවන් වෙයි.

    ReplyDelete
  5. @ශාකුන්තල
    අදහස නරකමත් නෑ. තව ටිකක් ඉදල බලමු හදිසියක් නෑනෙව.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ